News from 17 Jan 2015


අධික රුධිර පීඩනය විවිධ හේතු මත ඇති විය හැකි රෝග තත්ත්වයක්. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් තමයි මානසික ආතතිය. මේ දවස්වල නම් මට ප්‍රශ්න පිට ප්‍රශ්න, ඔළුව උස්සන්නම බෑ, මගෙ පේ‍රෂර් එකත් හොඳටම නැගලා”.
මෙහෙම කියන අය ඔබටත් ඕන තරම් හමුවෙලා ඇති. මානසික ආතතිය, රුධිර පීඩනය හා සෘජුවම සම්බන්ධ වන බව එමගිනුත් ඔබට පැහැදිලි ඇතිනේ.
මානසික ආතතියක් හෙවත් Stress  ඇති වීම යනු මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම වශයෙන් සරලව දක්වන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපට මානසික වශයෙන් මෙන්ම කායික වශයෙනුත් විවිධ වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. කායිකව දැනෙන ලක්ෂණ අතර හිසේ කැක්කුම සුළු වැඩකදී පවා ඉක්මණින් තෙහෙට්ටුවට පත් වීම. අත්පාවල වේදනාව, උදරයේ ඇසිඩ් ගතිය ඇති වී දැවිල්ලක් හට ගැනීම බත්කෙණ්ඩ ප්‍රදේශය මංශ පේශීන්වල වේදනාව වැනි දෑ දැක්විය හැකියි.
මානසිකව දැනෙන ලක්ෂණ වන්නේ සිතට තදබල නොසන්සුන් බවක් දැනීම, සෑම දෙයක්ම එපා වීම, එක දිගට යම් වැඩක යෙදීමේ අපහසුව, තරහ යාම, තැති ගැනීම, නිතර දැනෙන සිත් වේදනාව ආදියයි. මේවා මානසික රෝග ලක්ෂණම නොවුණත් මෙලෙස  ඇති වන මානසික ආතතිය නිසා රුධිර සංසරණ පද්ධතියෙහි වගේම හෘදය වස්තුව ආශ්‍රිතවද නොයෙකුත් ගැටලු පැන නැඟිය හැකියි.
මේ තත්ත්වය ඇති වන්නේ කොහොමද?
අප තුළ තදබල මානසික ආතතියක් හට ගත් විට අපේ ශරීරයේ තිබෙන ස්වායත්ත ස්නායු පද්ධතිය  විසින් අපට ඒ වෙනුවෙන් සටන් කිරීමට හෝ එම අවස්ථාවෙන් පළා යාම සඳහා ඉඩකඩ සලසනවා. එසේ කරන්නේ එම ස්නායු පද්ධතියෙ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම තුළින්. ඒ අනුව රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. අන්තරාසර්ග පද්ධතියෙත් එලෙසින්ම ක්‍රියාකාරිත්වය වැඩි වීම සිදුවෙනවා. මේ ක්‍රියාකාරිත්වයන් නිසා අපේ ධමනිවලද ක්‍රියාකාරිත්වය වැඩි වෙලා එහි පීඩනය වැඩිවෙනවා. ඒ හේතුවෙන් හෘදය වේගයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ආතතිය පහ වීමත් සමග මේ ක්‍රියාකාරිත්වයන්ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙනවා.
මේ තත්ත්වය වරක් දෙවරක් නොව නැවත නැවතත් වශයෙන් නිතරම වාගේ දැනුණොත් රුධිර නාළවල සහ හෘදය වස්තුවේ වෙනසක් ඇති වෙනවා. රුධිර නාළවල ඇති වන වෙනස්කම් අතර එහි ඝනකම වැඩි වීම දැක්විය හැකියි. මෙහිදී හෘදයේ සිට ශරීරයේ අනිකුත් කොටස්වලට රුධිරය ‍පොම්ප කිරීම සඳහා හෘදයට විශාල වෙහෙසක් දරන්නට සිදුවීම මත හෘදය වස්තුවේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වැඩි වීමයි සිදු වෙන්නේ. ඉන්පසු හෘදය වස්තුවේ කුටිවල මාංශ පේශිවල ඝනකම වැඩි වීමෙන් හෘදය වස්තුවටත් වැඩියෙන් රුධිරය අවශ්‍ය වෙනවා. ඒ තත්ත්වයට පැමිණි පසු හෘදය වස්තුවක් ක්‍රියා කරන්නේ ලොකු පීඩනයකින්. මේ තත්ත්වය කලක් තිස්සේ පැවතීමේ ප්‍රතිඵලය වන්නේ අධික රුධිර පීඩනය හට ගැනීමයි. දැන් ඔබට පැහැදිලිනේ. කාලයක් තිස්සේ මානසික ආතතියෙන් පෙළෙන අයෙකුට අධික රුධිර පීඩනය හට ගැනීමේ විශාල පීඩනයට ඖෂධ ගන්නා කෙනෙකු වුවත් නිතර නිතර මානසික ආතතියෙන්    පෙළෙන්නේ නම් එම ඖෂධ ප්‍රමාණයෙන් අධික රුධිර පීඩනය අඩු කර ගැනීම අපහසු වෙනවා. එනිසා එවැනි අය සිත සැහැල්ලු කරවන ව්‍යායාමයක යෙදිය යුතුයි.
මෙසේ ඇතිවන අධික රුධිර පීඩනය හෘදයාබාධයක් දක්වා දුරදිග යන්නේ කොහොමද?
හෘදය වස්තුව රුධිරය ‍පොම්ප කරන ‍පොම්පයක් ලෙස දැඩි වෙහෙසක් දරන විට එහි බිත්තිවලද ඝනකම වැඩි වන බව ඉහත සඳහන් කළා. මේ නිසා එයටත් වැඩිපුර රුධිරය අවශ්‍ය වෙනවා. කිරීටක ධමනිවලත් මේ ආකාරයටම පීඩනය වැඩි වන නිසා එහිද ඝනකම වැඩි වීමෙන් සිදුවන්නේ ඇතුළත ඉඩ ප්‍රමාණය අඩු වීමයි. මෙහිදී කිසියම් අයුරකින් රුධිරය කැටි ගැසීමක් සිදු වුණොත් හෘදයට රුධිරය සැපයීම අඩු වී යනවා. රුධිරය සැපයීම අඩුවන විට ඔක්සිජන් සැපයීමත් අඩු වෙනවා. එවිට එම ප්‍රදේශයේ වේදනාවක් හට ගන්නවා. යම් හෙයකින් මෙලෙස පටුවී තිබෙන කිරීටක ධමනියේ ‍ලේ කැටියක් හිර වුණොත් ‍ලේ ගමන් කිරීම අඩපණ වීමෙන් හෘදයේ මාංශ පේශී මිය යා හැකියි. එනම් හෘදයාබාධයක් ඇති වීමයි.
මානසික ආතතිය මගින් හෘදයාබාධ ඇති කරවන්නේ ඔය ආකාරයටයි. මීට අමතරව කොලෙස්ටරෝල් වැඩිවීම, බර වැඩිවීම, හෝමෝනවල අඩුපාඩු ඇති වීම වැනි විවිධ අහිතකර තත්ත්වයන් ආතතිය නිසා පැන නැගිය හැකියි. මානසික ආතතිය අඩුකර ගැනීම තුළින් අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ හට ගැනීම අඩු වෙනවා. එනිසා හෘදයාබාධයක් හටගත් කෙනෙකුට මානසික ඒකාග්‍රකතාවය ඉතාමත්ම වැදගත් බව සැලකිය යුතුය.
උපදෙස්: විශේෂඥ මනෝ වෛද්‍ය - රුමී රූබන්  Lakbima 17Jan2015





දහ ගුණයක් වස විස ගසා අපට විකුණන එළවළු සහ පලතුරු
ප්‍රතිඵලය මළ දරු උපත්, ආඝාත,හෘද රෝග සහ පිළිකාවස විස ගැන ඔබ දන්නේ මොනවාද? මූලිකවම කිව හැක්කේ අප මැරෙන්
නට ඉඩ ඇති බවය. 
නමුත් වස බව නොදැන අපි වස විස ආහාරයට ගනිමු. ඒ මදිවාට ඇතැම්හු  තවකෙකුට වස විස කවති. නමුත් මේ වස විස කැවීම සිදුවන්නේ ගොවිතැන හරහා වීම බරපතළ ගැටලුවකි. මන්දයත් කෑම බිම සඳහා මෙන්ම ආදායමක් ලබා ගැනීමටද ගොවිතැන අවශ්‍ය බැවිනි.පළිබෝධනාශක ව්‍යාපාරිකයින් ගොවියාගේ මනස තුළ අලුත් චිත්‍රයක් මවා ඇත. එනම් රසායනික ‍පොහොර භාවිතය හා පළිබෝධ නාශක භාවිතය හේතුවෙන් සාරවත් අස්වැන්නක් හිමි කර ගත හැකිය යන්නය. එය සත්‍යයකි. එහෙත් එහි අනිසි ප්‍රතිවිපාකය වන්නේ එම ආහාර බෝග මිනිස් සිරුරට අහිතකර වීමය.
තම මනසේ ඇඳෙන චිත්‍රය හරහා ගොවියා තම අස්වැන්න සාරවත් කර ගැනීමට පළිබෝධ නාශක හා රසායනික ‍පොහොර භාවිතයට හරි හරියට හුරුව සිටිති. එම හුරුවීම කෙසේද කියතොත් කන්ද උඩරට එළවළු ගොවීහු කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නියම කර තිබෙන ප්‍රමාණය ඉක්මවා රසායනික ‍පොහොර සහ පළිබෝධ නාශක භාවිතා කරන බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිව ඇතැයි කොළඹ ජාතික රෝහ‍ලේ විෂ නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කළේය.
ඒ ප්‍රමාණය කොතෙක්ද යත් කන්ද උඩරට අල ගොවීහු සිය වගාවට අනුමත ප්‍රමාණයට වඩා දහගුණයක් රසායනික ‍පොහොර යොදන බව එම සමීක්ෂණ වාර්තා තවදුරටත් පෙන්වා දී ඇතැයි හෙතෙම සඳහන් කරයි. මේ පිළිබඳව කරුණු විමසීමේදී හෙළි වී තිබෙන කරුණුවලට අනුව බෝග වගාවට පළිබෝධ නාශක ඉසීමෙන් අනතුරුව නියමිත කාල සීමාවට පෙර අස්වැන්න නෙළීමේදී බෝගවල අඩංගු විය යුතු අවශේෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය එහි අන්තර්ගතවේ. මෙම බෝග පරිභෝජනය සඳහා කිසිසේත් සුදුසු නොවේ.
එසේම අස්වැන්න නෙළීමට ආසන්න කාලයේදී ගොවියන් විසින්  පළිබෝධ නාශක ඉසීමටත් ආහාර බෝග වෙළෙඳ‍පොළේ අලෙවි කරන මොහොතේදීත් ඒවායේ පැහැය ආරක්ෂා කර ගැනීමට යැයි පවසමින් වෙළෙඳ ව්‍යාපාරිකයෝ  නොයෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමටත් පෙළඹී සිටිති. වෙළෙඳ‍පොළේ අලෙවි කෙරෙන එළවළු සහ පලතුරුවලට හොඳ මිලක් ලබා ගැනීමේ අදහසින් ගොවීහු සහ ව්‍යාපාරිකයෝ මෙවැනි ක්‍රමවේදයන් අනුගමනය කරති.
එහෙත් මේ බව පාරිභෝගිකයෝ නොදනිති. ඔවුහු එළවළු පලතුරු මිලදී ගැනීමේදී අලුත් පැහැයෙන් යුත් ඒවා මිලදී ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. එහෙත් ඒවායේ පැහැයට රැවටී අප කන්නේ පළිබෝධ නාශක ඇතුළු ශරීර සෞඛ්‍යයට අහිතකර රසායනිකයන්ගෙන් අනූන එළවළු සහ පලතුරු බව ඔවුහු නොදනිති.
මේ තත්ත්වය වහාම පාලනය කළ යුතු යැයි ජාතික විෂ තොරතුරු අංශය පෙන්වා දෙන්නේ එසේ නොවුවහොත් ඉදිරියේදී මළදරු උපත්, ගබ්සාවීම්, පිළිකා, හෘදරෝග, ආඝාතය, අධි රුධිරපීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ගණනාවක ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවකි.
මේ වන විටත් බෝනොවන රෝග රටපුරා පැතිර යමින් පවතින අතර වසරකට සියයට 70ක්  පමණ පුද්ගල ජීවිත ඒ හේතු කොටගෙන මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා පෙන්වාදේ. එපමණක් නොව වසරකට දහස් ගණනක් ජීවිත ආබාධිත තත්ත්වයට පත්වෙන බවද එම වාර්තා පෙන්වා දේ.
කොළඹ ජාතික රෝහ‍ලේ පමණක් මාසයක් තුළදී දියවැඩියා රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සිය දෙනෙකුගේ පාද ඉවත් කරන බවද වෛද්‍යවරු පවසති. කොළඹ ජාතික රෝහ‍ලේ පමණක් තත්ත්වය මෙසේ නම් ලංකාවේ අනෙකුත් රෝහල් ගැනත් සලකා බැලීමේදී මෙම සංඛ්‍යාව දෙගුණ තෙගුණ වනවා මිස අවම නොවනු ඇත.
කෘෂි රසායනික ද්‍රව්‍ය මෙසේ ජන ජීවිතයට බිලි ගනිද්දී අනික් පසින් රසකාරක, වායු දූෂණය, ඇස්බැස්ටස්, වැනි දෑ ද මිනිස් ජීවිත බිලි ගැනීමට පෙරමුණ ගනිමින් සිටිති.
අපගේ ආහාර රටාවේ වෙනසත් සමග පැමිණි රසකාරකත් ආහාර කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයනුත් මේ වන විට මිනිස් ජීවිතවලට  විශාල හානියක් සිදුකරමින් සිටී. රසකාරකයන් ශරීර සෞඛ්‍යයට අහිතකර බව දැන දැනම අපි ඒවා පරිභෝජනය කිරීමට පුරුදුව සිටිමු. ඒවා එක්වරක් භාවිත කිරීමෙන් අනතුරුව ඒවාට ඇබ්බැහිවීමක් දක්නට ලැබිම ‍පොදු ලක්ෂණයකි.
ඇතැම් රසකාරකයන් ආහාරයට ගත් පසුව අධික පිපාසයක් හා නිදිමත ගතියක්ද දැනේ. මෙවැනි තත්ත්වයන් මුල් අවස්ථාවේදී දැනුණද එම රසකාරකවලට ක්‍රමයෙන් ඇබ්බැහිවීමෙන් අනතුරුව එම ලක්ෂණ මගහැරී යනුයේ අපටත් නොදැනුවත්වමය. ඉන් පසු සිදුවන්නේ එවැනි අනතුරු ඇඟවීමකින් තොරව එයට ඇබ්බැහිවීමකි.
එසේම රසකාරක පමණක් නොව ඇතැම් සතුන්ට ලබා දෙන සත්ව ආහාර මගින් ද ක්ෂුද්‍ර ජීවීන් විශේෂයන් ඇතිවේ. එම සතුන්ගේ මස් මිනිසුන් ආහාරය වශයෙන් ගැනීමේදී එම ආහාරදාමය ඔස්සේ  මිනිස් සිරුරට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වේ. මෙමගින් විවිධ රෝගාබාධ ඇතිකළ අවස්ථාවන්ද අතීතයේ තිබුණි. මීට වසර අටකට පමණ පෙර පැමිණි  උමතු ගව රෝගය එවැන්නකට උදාහරණයකි.
කෙසේ හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය, පළිබෝධනාශක, විවිධ රසකාරක හා වර්ණක හැරුණු කොට වායු දූෂණය මගින්ද මිනිස් ජන ජීවිතය මේ වන විට අනතුරකට පත්ව තිබේ. ගෘහය තුළ සිදුවන දර භාවිතය හේතුවෙන් ද වායුව අපිරිසිදු වේ. වාර්ෂිකව ලොව පුරා මිලියන 4ක්  මිනිසුන් මිය යනුයේ දර භාවිතයෙන් ගෘහය තුළ සිදුවන වායු   දූෂණය හේතුවෙනි.
ලොව පුරා බෝනොවන රෝග හේතුවෙන් මිලියන 3.8ක් පුද්ගලයින් මිය යනුයේ ගෘහය තුළ සිදුවන වායු දූෂණය හේතුවෙනි. දර පමණක් නොව සිගරැට්, වාහන හා කර්මාන්තශාලා ආදියෙන් පරිසරයට මුදාහරිනු ලබන දුම ද මරුකැඳවීමට හා පෙනහලු ආශ්‍රිත රෝගාබාධ ගණනාවක් ඇති කිරීමට හේතුවේ. දුම්වැටි භාවිතය හේතුවෙන් පසුගිය ශතවර්ෂය තුළ මිලියන 100ක් මියගොස් ඇති අතර මේ  ශතවර්ෂය තුළ ඉන් බිලියනයක් පමණ මරණ සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ.
මෙසේ අප අවට පරිසරය හා අපගේ ආහාර රටාවන් වස විසෙන් අනූන වීම හේතුවෙන් එහි ප්‍රතිවිපාක අප දැන් දැන් බුක්ති විඳිමින් සිටින අතර ඉදිරියේදී එය තවත් ශීඝ්‍ර ලෙස වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව  විශේෂඥයෝ පෙන්වා දෙති. මේ වන  විට වඳභාවයට පත්ව තිබෙන කාන්තාවන් හා පිරිමින්, මළදරු උපත්, ආබාධිත දරුවන් බිහිවීමේ ප්‍රවණතාව, පිළිකා, හෘදරෝග, දියවැඩියාව, අධි රුධිරපීඩන තත්ත්වයන් සහ මානසික ආතතිය වැනි බෝනොවන රෝග ගණනාවකටම මේ වස විස හේතුකාරක වී තිබේ.
මේ වන විට මිනිසා විසින්ම පරිසරය විනාශ කර දූෂණයට ලක් කර ඇති හා කරමින් පවතී. එහි අනිසි ප්‍රතිඵලද අද අපි භුක්ති විඳින අතර ඉදිරියේදී වැඩි වේගයකින් භුක්ති විඳීමට සිදුවනු ඇත. අප මෙන්ම අපගේ දරුවන්ද නූපන් දරුවන්ද මේ ව්‍යසනයට ගොදුරු වීම අද වන විට වැළැක්විය නොහැකි තත්ත්වයක් ලෙසට පත්ව තිබේ.
කොළඹ ජාතික රෝහ‍ලේ විෂ නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක - lakbima 17Jan2015

No comments:

Post a Comment