ලොව හොදම කථිකයා ශ්‍රී ලංකාවෙන්

තරඟෙට ආ තිස්තුන්දාහක් පැරද වූ ලොව හොඳම කථිකයා

Dananjaya
නායකත්වය සහ කථිකත්වය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධානම ආයතනය සේ සැලකෙන “ටෝස්මාස්ටර්ස් ඉන්ටනැෂනල්” ආයතනය මෙහෙයවන වාර්ෂික ජාත්‍යන්තර කථික ශූරතාවලියට ආ තරඟකරුවෝ 33,000කට අධික පිරිසක් පරාජය කරමින් ‘ලොව හොඳම කථිකයා’ ලෙස අභිෂේක ලැබුවේ ශ්‍රී ලාංකිකයෙකි.කිසිදු ආසියාතිකයෙකු එම තරඟාවලියේ මෙවැනි ජයක් ලබා නැත. මෙවර එන් ජෙනරේෂන් වෙත ගොඩ වෙන්නේ ඒ විශිෂ්ට ජයග්‍රහණයේ හිමිකරු ධනංජය හෙට්ටිආරච්චි ය.
මේ දවස්වල හොඳටම හෙම්බත් වෙන තරම් ප්‍රථිචාර අඩු නැතිව ඇති නේද?
ඇත්තෙන්ම මේ ජයග්‍රහණය ලැබුණ වෙලාවේ ඉඳලම විශාල පිරිසක් කතා කරනවා. සුභ පතනවා. විශේෂයෙන්ම වෙනත් රටවලින් ලැබෙන ප්‍රථිචාර පුදුමාකාරයි.
අපි මූලින්ම ඔබේ පවු‍ලේ විස්තර ටිකක් කතා කළොත්
මගේ අම්මා මතුගම. තාත්තා හොරණ. තාත්තගේ රස්සාව නිසා ඒ දෙන්නා නුවරඑළියේ එනවා. මම ඉපදෙන්නේ එහේ. ඒත් මට අධ්‍යාපනය දෙන්න ඒ දෙන්නා කොළඹ තෝරා ගන්නවා. ගල්කිස්ස තෝමස් යවන්න ඕනා නිසා පවුලම ගල්කිස්සේ කුලී ගේක නවතිනවා. ඒ කාළේ අපි ජීවත් වුණේ හරි අමාරුවෙන්.
ඒත් මම ඇකඩමික් සම්බන්ධයෙන් දුර්වලයි. එහෙම වුණත් මම නෙවිල් ද අල්විස් කියන අපේ විදුහල්පතිට ගරු කළා. එතුමා කතා කරන විදිහ මට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ කා‍ලේ අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ බර්තලමියුස් කියල බර්ගර් ගුරුවරයෙක්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ආසා කළා.
ඒත් මම ඉගෙනීම පැත්තකට කළ නොමග ගිය චරිතයක්. පාඩමට වඩා හිතුවක්කාරකම්, චංඩිකම් කළ කෙනෙක්. ඒ නිසාම ඒ ලෙවල් අතරෙදි මම ‍පොලිසියෙත් හිටියා. එදා අම්මා ‍පොලිසියට ඇවිත් ඉකිගහමින් ඇඬුවා. ඒ ඇඬුම මට දරන්න බැරි වුණා. යන ගමන වෙනස් කරන්න මම තීන්දු කළා.
උසස් පෙළ මොකද වුණේ?
මම ෆේල් වුණා. යාලුවෝ ඈත් වුණා. ඒක හරිම පීඩාකාරී තත්ත්වයක්. හැම කෙනෙක්ම හිතුවේ ඒ ලෙවල් පාස් වෙලා ඉගෙනගෙන රට යන්න. මොකද ගොඩක් අය හිතුවා ඒ කා‍ලේ ලංකාව අප්‍රිකාව වගේ වෙයි කියලා. ඒ අතරේ තාත්තා මාව එයාගේ යාලුවෙක්ට භාර දුන්නා. එයා කීර්තිමත් බුද්ධිමතෙක් වෙච්ච ඇන්ටන් සමරසිංහ මහතා. එතන මම කළේ ෆයිල් අරන් යාම වගේ වැඩ. එයා මට ලෝකය ගැන කියා දුන්නා. ඒ කතාවලින් මම උත්තේජනය අරගත්තා. මම අදත් හිතනවා එයා තමයි මගේ සරසවිය කියලා.
ඔබ අති දක්ෂ නර්තන ශිල්පියෙක්?
ඇත්තෙන්ම... අම්මා තමයි මා ඒ පැත්තට යොමු කළේ. එයා බොල්රූම් සහ ලතින් නර්තනය පිළිබඳව සුප්‍රකට ශිරෝමි පෙරේරා මහත්මියට මාව බාර දුන්නා. ඉතින් මම උදේ වැඩට යනවා. හවස නටන්න යනවා. මම හිතන්නේ මගේ පළවෙනි රස්සාව ‘ඩාංසර්’ කියලා. මට හම්බවෙන පළවෙනි පඩිය රුපියල් 1500යි. ඉතිං මම නැටුම්  කලාව දිගටම කළා.
ඒ අතරේ ඔබ තිරණාත්මක තින්දුවක් ගන්නවා.
ඔව්... ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටනැෂනල් කියන ආයතනයට තාත්තා මාව සම්බන්ධ කරනවා. ඇමරිකාවේ තියෙන ඒක දශක අටකට වඩා පරණ කීර්තිමත් ආයතනයක්. ලක්ෂ තුනකට වැඩි පිරිසක් සාමාජිකත්වය දරනවා. ලංකාවේ තිබූ ශාඛාව කොළඹට සීමා වෙලා තිබුණා. ඒ ආයතනය අරුනාචලම් බාල්රාජ් කියන මහත්මයා රට පුරා ව්‍යාප්ත කරනවා. ඒ විදිහට smedley toastmasters club පටන් ගන්නවා. ඒකේ මුල්ම තරුණ සාමාජිකයා මම. එහෙදී මම කතා කරනවා දැකලා අරුණාචලම් මහත්තයා කීවා නිතර එන්න කියලා. 2006 දී මම මුල්ම කථික තරඟාවලියට ගියා.
පාසැ‍ලේදී ඔබ කථිකයෙක් ද?
අනේ නෑ. පාසැ‍ලේ දී කවදාවත් වේදිකාවක කතාවක් කරන්න ගිහින් නෑ. විවාද කණ්ඩායමේ ඉඳලත් නෑ. මම හිටියේ ශිෂ්‍යභට කණ්ඩායමේ විතරයි. ශිෂ්‍යභට කණ්ඩායමේ හිටපු එක මගේ ගමනට අත්දැකීමක් වුණා. කොහොම වුණත් පළමු කථික තරඟයෙන් මම පරාදයි. එදා මම පහළටම වැටුණා. ආයේ නොයන්න තීරණය කළා. එත් බොහෝදෙනා මාව උනන්දු කළා.ඊට පස්සේ ඉගෙන ගන්න මම තදින් ඇබ්බැහි වුණා. 2002 න් නතර කරලා තිබ්බ ඉගෙනීම මම 2007 පටන් ගත්තා ඒ ලෙවල් පාස් වුණා. අපතේ ගියපු අවුරුදු 15 මම නැවත දිනා ගන්නේ ඩබල් ඩිග්‍රියක්, එම්.බි.ඒ  එකක්, ‍ප්‍රොපෙෂනල් ඩිප්ලෝමා කීපයක්, අරගෙන.
මේ සියල්ල අතරේ ඔබ තරඟයට ඉදිරිපත් වෙනවා. ඒ තරඟයේ ස්වභාවයත් කියන්න.
ඔව්. නායකත්වය හා කථිකත්වය දියුණු කිරීම වෙනුවෙන් ලොව තියෙන ප්‍රමුඛ ආයතනයතමයි ටොස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් කියන්නේ. හැම අවුරුද්දකම එයාලා ලෝකයේ හොඳම කථිකයා තෝරනවා. මේ අවුරුද්දේ මම ලෝකයේ හොඳම කථිකයා බවට පත්වෙනවා. වසර 75 ක ඉතිහාසය තුළ ඉංග්‍රීසි මවු භාෂාව නොවන රටක වැසියකු ලෝක ශූරතාවලිය ජයගත් ප්‍රථම වතාව තමයි මේක. අවුරුදු දහයක් තිස්සේ මම හිටියේ මුරණ්ඩුකම, උද්ධච්චකම පිරුණ එහෙත් පරාජය නෙලා ගත් කෙනෙක් විදිහට. ඒක මේ තරඟයෙන් වෙනස් වුණා.
මේ ජයග්‍රහණයත් සමඟ ලෝකයෙන් ලැබුණ ප්‍රථිචාර කොහොමද?
මේ වෙනකොටත් මට රටවල් රැසකින් කතා කරනවා එයාලගේ රටවල්වල මේ නායකත්වය හා කථිකත්වය දියුණු කිරීම වෙනුවෙන් උදව් කරන්න කියලා. විශේෂයෙන්ම මම මෙහෙිදී නියෝජනය කළේ අපේ රට විතරක් නෙවේ මුලු ආසියාවම නියෝජනය කළා. මේක නිසා මුළු ආසියාවේම කට්ටිටත් තියෙනවා ලොකු විශ්වාසයක්. දැන් ඒගොල්ලන්ටත් මේක කරන්න පුළුවන් කියලා එයාලා හිතනවා.
ලංකාවෙන් ලැබුණ ප්‍රථිචාරය කොහොමද?
මෙහෙන් ලැබුණ ප්‍රථිචාර මම සලකන්නේ මෙහෙමයි. මම තරඟය දින්නම ලෝකෙ රටවල් විශාල ප්‍රමාණයකින් මට සුබ පැතුවා. කතා කළා. ඊමේල් එව්වා. ලංකාවෙත් බොහෝ දෙනා කතා කළා. සුභ පැතුවා. නමුත් මේ ජයග්‍රහණය ලංකාවට ඒ තරම් දැනෙනවද කියලා මම දන්නේ නෑ. දවසකට ඩොලර් 20,000ක් ගෙවන්නම් කියලා ආසියාවේ සමහර රටවල් කතා කරනවා. ඒත් ලංකාවේ මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් නෑ. එහෙම කල්චර් එකක් හැදිලා  නෑ.මම මගේ රටට ආදරෙයි. ඉතිං මගේ අරමුණ රට පුරා ඉන්න පාසැල් දරුවන්ට සහ තරුණ ප්‍රජාවට කතා කිරීම,ඒ වගේම නායකත්වය හා කථිකත්වය දියුණු කිරීමට උදව් කිරීම.
ලංකාවේ තරුණ ප්‍රජාවට දෙන්න ඔබට ඇති පණිවිඩයක්?
අද හැමදේම වෙනස්. බැඳීම් කියන දේ හරිම අඩුයි. ඒත් මේ රට පුදුම ආදරණීය රටක්. ලෝකේ කළ හැකි හැමදේම මේ රටෙත් කළ හැකියි. වෙන මොන ප්‍රශ්න තිබුණත් රට හොඳ නෑ කියන එක බොරු. වගකීම කාටවත් දීලා අපිට අත හෝදාගන්න බෑ. අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපිට මේ රට බබලවන්න පුළුවන්.
තමන් කවුරු වෙන්න ඕනද කියලා ඉලක්කයක් තියෙන්න ඕනා. විශිෂ්ටයෙක් වෙන්න නම් මිනිහෙක් වෙන්න ඕනා. මම හිතනවා ජීවිතය පටන් ගන්නේ අවුරුදු 40 න් කියලා. එතෙක් මම සැරිසැරුවා. කළ යුතු දේ හෙව්වා. හරි උපදෙස් ගත්තා. කවදාවත් මගේ දෙමාපියෝ මාව කොටු කළේ නෑ. එයාලගේ හීන මා මතින් දිනන්න වෑයම් කළේ නෑ. ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න කියලා මාව කොටු කළේ නෑ. ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න කියලා මාව රාමුවකට දැම්මේ නෑ. ඉතිං මම පාර හෙව්වා නිදහසේ. 
මෙතනින් එහාට ඔබ නවතින තැන දේශපාලනයද?
කොහෙත්ම නෑ. මම ආසයි ගුරුවරයෙක් වෙන්න.
from Lakbima Online 02 September  2014

No comments:

Post a Comment